“ඔබ විවාහට සූදානම් වන විට”
ඔබ විවාහට සූදානම් වන විට, ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ද විවාහ වන දෙදෙනාගේ ඊට ගැළපෙන සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා පෙළඹේ. මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ පොරොන්දම් ගැලපීම අනුව විවාහය සුදුසු, නුසුදුසු බව තීරණය කර ගැනීමයි. පොරොන්දම් නොබලා විවාහ වී සාර්ථක ලෙස විවාහ ජීවිතය පවත්වාගෙන යන පිරිසක් ද සමාජයේදී අපට මුණගැසේ.
එහෙත් ජ්‍යොතිෂ සිද්ධාන්ත පසෙකලා, ප්‍රේම සබඳතාවලට අනුව විවාහ වන බොහෝ අයගේ විවාහ ජීවිතවල අඳුරු සෙවණැලි කොතෙකුත් හමු වී තිබෙන අතරම පොරොන්දම් ගලපා විවාහ වූ සමහර අය් ද විවාහ ජීවිත අවුල් වී විවාහය බිඳ වැටුණු අවස්ථා අපට හමු වී තිබේ. මුලදී පොරොන්දම් බැලීම පොරොන්දම් 8 කින් සිදුවිය. එය අෂ්ඨකූටය නමින් හඳුන්වයි.
අෂ්ඨකූටයෙන් පටන් ගත් පොරොන්දම් පරීක්ෂණය ක්‍රමයෙන් පොරොන්දම් 10, 12, 18, ආදී වශයෙන් මේ දක්වා පොරොන්දම් 20 දක්වා අවශ්‍යතාවය අනුව වැඩි වී ඇති බව පෙනේ. කෙසේ නමුත් විවාහ පරීක්ෂාවකදී පොරොන්දම් 20 වුවද එය ගැලපීමෙන් පමණක් ප්‍රමාණවත් නොවන බවත් කේන්දර දෙකෙහිම පවත්නා විවාහයට සුභ, අසුභ තත්වයන් පිළිබඳවත් පරීක්ෂාකර බැලිය යුතුවේ. මෙසේ විවාහය සඳහා අශුභ තත්වයන් අතර ප්‍රධාන තැන ගන්නේ කුජ දෝෂයයි. මෙම කුජ දොෂය ලග්නයෙන්, සඳුගෙන් හා සිකුරුගෙන් යනුවෙන් තුන් ආකාරයකින් බැලිය යුතු වේ. කුජ සහ සෙනසුරුගෙන් යෙදෙන තවත් විවාහයට අසුබ දෝෂයකි, ශනි මංගල දෝෂය. වෛධව්‍ය දෝෂ හෙවත් වැන්දඹු දෝෂ ද, එනම් ස්ත්‍රී කේන්දරයක පවතින පුරුෂ මර යෝග පිළිබඳවත්, පුරුෂ කේන්දරයක පවතින ස්ත්‍රී මර යෝග පිළිබඳවත්, සැලකිලිමත් විය යුතුයි. දශාවන් සම්බන්ධව යෙදෙන කඩහන්දි මාරක දෝෂ විෂ, කන්‍යා යෝග, සරාගී යෝග, බහු විවාහ යෝග, මේ ආදී දෝෂ කේන්දරයක පිහිටා ඇති ආකාරයත්, දෙදෙනාගේම කේන්දර වල ඒවා ගැලපෙන ආකාරයත්, හොඳින් පරීක්ෂාවට ලක් කිරීම ද අත්‍යාවශ්‍යයි.
මෙකී යෝගාදිය කේන්දරයක පිහිටා ඇති විට එම යෝග භංග වන අවස්ථා එම කේන්දරයෙම යෙදී නොමැති විට, කුජ දෝෂය ශනි මංගල දෝෂය වැනි විවාහයට අසුබ යෝග කේන්දර දෙකෙහි ම යෙදී ඇත්නම්, කේන්දර ගැලපීමේදි දෝෂ භංග වන බව ශාස්ත්‍රීය නියමයයි.
මෙසේ පොරොන්දම් ගැලපීමට අමතරව විවාහයට අසුබ මෙවැනි දෝෂ තත්වයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවට ලක් කිරීමෙන් ශාස්ත්‍රානුකූලව යහපත් විවාහයක් අපේක්ෂා කළ හැකිය.එපමණක් නොව දෙදෙනාගේම අනාගතය පිළිබඳව වෙන වෙනම පරීක්ෂාකර බැලීම ද, දෙදෙනාගේම විවාහයෙන් පසුව ජීවිතය යහපත් කර දීමට අවශ්‍ය පසුබිමක් ද, මෙමගින් නිර්මාණය වේ. විවාහය සඳහා සැරසෙන ඔබ මෙසේ පොරොන්දම් ගැළපීම ට පමණක් සීමා නොවී දෙදෙනාගේ කේන්දර දෙක පිළිබඳවත්, විවාහය සඳහා පවතින දෝෂ තත්වයන් පිළිබඳවත්, විධිමත් පරීක්ෂණයක් සිදුකර ගනිමින් හා එම දෝෂ තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ශාන්තිකර්ම ආදිය සිදු කර ගනිමින් ඔබට ඔබගේ විවාහ ජීවිතය ආලෝකමත් කර ගත හැකියි.
0 Comments